Tuesday, August 12, 2014

චිත්‍ර ශිල්පියෙක් වෙන්න මූලික සුදුසුකම්


චිත්‍ර ශිල්පියෙක් වෙන්න
මූලික සුදුසුකම් කිහිපයක් අවශ්‍යයි.
මේ සුදුසුකම්
අනික් ක්ෂේත්‍ර වලටත් අවශ්‍යයි.
මේ මූලික සුදුසුකම් නැතුව
මෙලොව කිසිම කෙනෙක්
චිත්‍ර ශිල්පියෙක් වෙලා නැහැ.

ඔබ චිත්‍ර ශිල්පියෙක් විදියට
හැමදාම එක තැන පල්වෙනවා නම්
ඔබ ළඟ මේ සුදුසුකම් වලින්
එකක් හෝ කීපයක් අඩුයි.
ඒ අවශ්‍ය සුදුසුකම් වලින්
මට දකින්නට ලැබුණ
අත්‍යාවශ්‍ය සුදුසුකම්
මගේ හිතට එන පිළිවෙළට
දක්වන්නම්.

සහජ හැකියාව මූලිකවම අත්‍යාවශ්‍යයි.
සහජ හැකියාවක් නැති කෙනෙකුට
චිත්‍රයක් රස විඳින්නවත් බැහැ.
ඔවුන් චිත්‍රවලට අන්ධයන් වගෙයි.
චිත්‍රයකින් නික්මෙන ආලෝකය
ඔවුන්ගෙ හිත්වලට දැනෙන්නෙ නැහැ.

මෙවැනි අයත් චිත්‍ර අඳිනවා.
අනිත් අයගෙ චිත්‍ර රස විඳින්න බැරි අයගෙ
චිත්‍ර පොදුවේ නීරසයි.
ඔබ චිත්‍ර අඳින නවකයෙක් වුණත්
ප්‍රවීණයෙක් වුණත්
ඔබේ චිත්‍ර වල
ඔබ මෙතෙක් දුටු හැම චිත්‍රයකම
සලකුණු තියනවා.
ඔබේ චිත්‍රයක් ගොඩ නගන සම්පත් වෙන්නෙ
ඔබ මෙතෙක් දුටු දර්ශන සහ
ඒ  දර්ශන පරිවර්තනය කළ චිත්‍රයි.
චිත්‍ර රස නොවිඳින අයටත්
චිත්‍ර අඳින්න පුලුවන්.
තව කෙනෙකු තුළ රසයක් ඇති කරන්න බැහැ.
ඔහු තුළ නැති දෙයක්
තව කෙනෙකුට දෙන්නෙ කොහොමද.
හොර නෝට්ටු වලින් රවටන්න පුලුවන්.
හොර නෝට්ටු දුටු ගමන්ම අවලංගු වෙනවා.

චිත්‍රයක් රස විඳින කෙනෙකුට
චිත්‍රයකින් හිතේ වෙනසක්,
හිතේ සසලවීමක් ඇතිවෙන කෙනෙකුට
ඒ වෙනස, ඒ සසලවීම
තවත් කෙනෙකුගේ හිතේ ජනිත කරන්නට
ඉගෙනගන්න පුලුවන්.. පුහුණු වෙන්න පුලුවන්.

ඔබ විඳින දේ තව කෙනෙකුට
විඳින්න සලස්වන්න ඔබට පුලුවන් වෙන්නෙ
අවශ්‍ය තාක්ෂණය ඉගෙන ගැනීමෙන් පසුවයි.

පෑනක්, පැන්සලක්, පින්සලක්, ටැබ්ලට් එකක් ගත්ත ගමන්
චිත්‍ර නිර්මාණය කරන්න සිතීම නිසා
බොහෝ ප්‍රතිභාපූර්ණ නවක චිත්‍ර ශිල්පීන්
ක්ශේත්‍රයට අහිමි කරලා තියනවා.
ඔබට මොන තරම් පිපාසයක් තිබුණත්
නැගිටලා ගිහින් වතුර බොන්න අවශ්‍ය වෙන
විනය, සංයමය, මාර්ගය නැත්නම්
ඔබට ඉන්න වෙන්නෙ පිපාසයෙන්.

භාෂාවක් කියන්නෙ සංනිවේදන මාධ්‍යයක්.
තමන්ගේ අදහසක්, තවකෙනෙකුට
නිදහසේ සම්ප්‍රේෂණය කරන්නට
භාෂාවක් මගින් කතා කරන්නට
හැම කෙනෙකුටම හැකියාව තියෙනවා.
ගොලුවෙකුට වුණත් සන්නිවේදනයට මාර්ග තියනවා.

චිත්‍රයක් කියන්නෙත් සංනිවේදනයක්.
වර්ණ රේඛා හැඩතල උපයෝගී කරගෙන
අපි කිසියම් අදහසක්, හැඟීමක්, සිතුවිල්ලක්
තව කෙනෙක් තුළ ඇති කරලා
අන් අයට වඩා
තමන් ඉහළින් ඉන්නවා කියන ගර්වයෙන් හෝ
අපට ඇති හැකියාව නිසා ලබන ගරු නම්බුවෙන් හෝ
වැටෙන ලයික් කමෙන්ට් ප්‍රමාණයෙන් හෝ
අනුග්‍රාහකයා ගෙවන මුදලෙන් හෝ,
අපේ චිත්‍ර බලන රසිකයා විඳින රසයෙන් හෝ
තෘප්තිමත් වෙනවා.
පුද්ගල චරිත අනුව මේ දෙවල් වෙනස් වෙනවා
තමන් දිහා බැලුවාම
ප්‍රතිචාර වලින් තමන්ට වෙන වෙනස අනුව
තමන් කරන්නෙ ඇයි කියල
තමන්ටම දැන ගන්න පුලුවන්.

චිත්‍ර වලින් කරන සන්නිවේදනය සාර්ථක වෙන්නෙ
අපේ අදහස කියන්නට උපයෝගී කරගන්න
රූප භාෂාමය උපාංග
අපි උපයෝගී කර ගන්නා ආකාරය මතයි.
අපි විඳින හැඟීම කොතරම් ප්‍රබල වුණත්.

සරාංශය බැලුවොත්
චිත්‍ර ශිල්පියෙකුට මූලික ව අවශ්‍ය වෙන සුදුසුකම්
1, චිත්‍ර රස විඳින රසිකයෙක් වීම.
2, ඒ රසය තව කෙනෙකුට සන්නිවේදනය කරන්නට
ඔහුට ඇතිවෙන අවශ්‍යතාවය.
3, සන්නිවේදනය කරන භාෂාව හැදෑරීමට ඇති උවමනාව,
විනය, කැපවීම සහ සංයමය.

බොහෝ නවකයන් හිරවෙලා ඉන්නෙ
තුන්වෙනි පියවරේ.

ඔවුන්ගෙනුත් වැඩි පිරිසකට
ඒ පියවර ගන්න තියන ප්‍රධානම ගැටළුව
ඔවුන් තුළ ඇති මාන්නයයි.
ඉගෙන ගැනීම මදි කමක් කියා ඔවුන් හිතනවා.
උපදෙස් දෙන හැම කෙනෙකුටම
යටත් විය යුතු නැහැ.
හැම උපදෙසක්ම පිළිගත යුතු නැහැ.
හැම උපදෙසක්ම විමසා බැලිය යුතුයි.
ගටළු සහගත නම් ප්‍රශ්න කළ යුතුයි.

සමහර විට
යම් කෙනෙකුගෙ උපදෙසක් නිසා
මග පෙන්වීමක් නිසා
තමන්ගෙ වෙනසක්, වර්ධනයක්, ඉදිරියට යෑමක්
ඇති වෙන බව තමන්ට දැනෙනවා.
ප්‍රසිද්ධියේ ඉගෙන ගැනීමත්
ඉගෙන ගන්නා හැම විටකම
මග පෙන්වීම ලැබුණේ සිඟිත්තෙකුගෙන් වුණත්
ඉගැන්නුවාට ස්තූතියි කියන්න පුරුදුවීමෙන්
මාන්නාධික රෝගය සුව වෙනවා.

කෙනෙක් ඉගෙන ගන්න හදනකොටම
ඔහුග් දියුණුව වලක්වන්න ඉදිරිපත්වෙන
මිත්‍ර ප්‍රතිරූපී සතුරන්ගෙ කූට උපක්‍රම වලට
තවත් අය ගොදුරු වෙනවා.
තමන්ගෙ චිත්‍ර ගැන උනන්දු නොවෙන කෙනෙකුගෙන්
හදිසියෙම තමන්ට ලැබෙන උපදෙස පිළිපැදීමෙන්
තමන්ට යමක් ලැබෙනවාද
ලැබෙන දෙයක් අහිමි වෙනවාද කියා
ඔවුන් සිතිය යුතුයි.

චිත්‍ර ඇඳීම
පහසු මුදල් සෙවීමේ මාර්ගයක් විදියට හිතන අයත්
අවශ්‍ය තැනට එන්නට පෙර ඉවත්වෙනවා.

ඉතිරිවෙන අතළොස්ස තමන්ගෙ හැකියාවෙන්
තමන් විඳින රසය සන්නිවේදනය කරනවා.
මම ඔවුන්ට හිස නමා ආචාර කරනවා.

No comments:

Post a Comment