Friday, June 22, 2018

පිළිමයක් බලාගෙන චිත්‍රයක් ඇඳීම.

චිත්‍ර ඇඳලා එදා වේල හොයන කුලී වැඩේ
දිවා රෑ කරන අතරෙ
බලාගෙන ඇඳීම මළ බැඳිලා.

ඊයෙ විදුලිය විසන්ධි වුණාම
මේ පිළිමය බලාගෙන අඳින්න ගත්තෙ
මොනවා හරි කරන්න හිතුණ නිසයි.

ඒත්
ඒ පිළිමය
හරියට අඳින්න බැරි වුණාම
දැනුණ අසරණ, අනාථ මානසිකත්වය නිසා
පිළිමය දිගටම අඳින්න හිතුණා.
පළමු චිත්‍රයේ සලුව හැර අන් සියල්ල
ඒ අසාර්ථකත්වයට සහතික පෙළක්...

මේ පිළිමයෙ අරටුව ඊයෙ මට දැනුණෙ නෑ.
සැකිල්ල, පේශි, රිද්මය දැනුණෙ නෑ.
මම හෙව්වෙ මතුපිට පෙනුම විතරයි.

ගීයක තනුව වගේ මූලික රිද්මයක්
මේ පිළිමය පුරාම තියනවා.
ඒ රිද්මය මට දැනුණෙ නැත්නම්
මගේ චිත්‍රය රොබෝ කෙනෙක්.
කෑලි කෑලි එකතු කළ
කොටස් ගොඩක් මිස
සංගතික ඒකකයක් නොවෙයි..
තනි වස්තුවක් නොවෙයි.
ඒ චිත්‍රයට ජීවයක් නෑ..

චිත්‍රයක කොටස් එකට බඳින්නෙ
එහි කොටස් අතර තියන රිද්මයයි.

ජීව චිත්‍රයක් කියද්දි
අරුත් දෙකක් තියනවා කියන්න පුලුවන්.
එකක් අපි බලාගෙන අඳින්නෙ
අපි ඉදිරිපිට භෞතිකව පවතින දෙයක්.
අපිට සීමාවක් තුළ නිශ්චිත දත්ත
කඩදාසිය මත රූපණය කරන්න
නැවුම් භාෂාවක් හදාගන්න වෙනවා.
අපිට ඇහැට පෙනෙන දේ හිතේ සටහන් කරගෙන
ඒ කටු සටහන ඇසුරෙන් ලැබෙන සීමිත දත්ත
චිත්‍රයක් බවට පත් කරන්න වෙනවා.

දෙවනුව
ජීව චිත්‍රයක
චිත්ත රූපයකින් අඳින
සාමාන්‍ය චිත්‍රයක නැති
ජීවයක් තියනවා.

චිත්‍රයක් කියන්නේ අපි දකින දේකින්
අපි තුළ තැන්පත් වෙන රූපයෙ අනුරුවක්.
අපි වින්ද අත්දැකීම ප්‍රබල වුණාම
චිත්‍රය දකින කෙනාට දනෙන දේත්
ඒ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රබලයි.
මින් පළමු චිත්‍රය අඳින වෙලාවෙ
මගෙත් පිළිමයත් අතර සබඳතාවය
ඉතාම දුර්වලයි.
මම භාවිතා කළ භාෂාව දුර්වලයි.

අද මම අඳින්න පටන් ගත්තෙ
ඊයෙ හොඳට ඇන්ද සලුව
මුලින්ම ඇඳීමෙනුයි.
මට දැනෙන හැඟීමට
සාපේක්ෂව බලද්දි
කඩදාසිය මත
සලුව මට දැනෙනතුරු අඳින්න
මම උත්සාහ කළා.

ඒ රිද්මය දැනුණාම
සලුවට සාපේක්ෂව බලද්දි
ඊට පිටුපසින් වම් අත තියන රිද්මය
නිවැරදිව දකින්න උත්සාහ කළා.
සියයට දහයක් පහළොවක් පමණ
අපහසුවෙන් සාර්ථක කරගත්තා.

ඒ අත තිබිය යුත්තෙ
මීට වඩා ඈතින්, පසුඅසින්.

ඉන් පස්සේ සලුවට සාපේක්ෂව
උරහිස ප්‍රදේශය ඇන්දා.

උකුළ ප්‍රදේශය හරහා
දකුණු කකුළ අඳිද්දි
ඒ කකුලට බර යෙදෙන ආකාරය
ඉතාම වැදගත්.

ස්ටන්ලි අබේසිංහ සර් කියා දුන්නෙ
බර යෙදෙන තැනින් පටන්ගන්න කියලා.
ඇත්තටම රිද්මය පටන් ගන්නෙ එතනින්.

වම් පාදයෙ තියන සැහැල්ලුවත්
ඒ වගේම වැදගත්...

චිත්‍රයක දැනෙන ප්‍රාණවත් බව, රිද්මය,
ඡායාරූපයට වඩා වැඩි විය යුතුයි.
----------------------------------------------
 මේ ඡායාරූපය බලාගෙන
වඩා
පහසුවෙන් අඳින්න පුලුවන්.
ඒ ඇඳීම ඡායා පිටපතක් ගැනීමක්.
පිටපත් කිරීමෙදි පරිවර්තනයක් නෑ.

ඡායාරූපයක් බලාගෙන ඇඳීමත්
සැබෑ ද්‍රව්‍යයක් බලාගෙන ඇඳීමත්
සපුරාම වෙනස් අත්දැකීම් දෙකක්.
ඡායාරූපයක් බලාගෙන ඇඳීම
පැතලි නොගැඹුරු කලාවක්.

1, ඡායාරූප බලාගෙන
සාර්ථක චිත්‍ර අඳින බොහෝ දෙනෙකු
ජීව චිත්‍රකරණයට අසමත්.

කෙනෙක් ඡායාරූප බලාගෙන
ඉතා සාර්ථක චිත්‍ර ඇන්දත්
ඔහු ජීව චිත්‍රකරණයට යොමුවුණොත්
මුලින් දැක්වූ දක්ෂකම
ජීව චිත්‍රකරණයෙදී දකින්න ලැබෙන්නෙ නැහැ.
ජීව චිත්‍රකරණයෙන් දක්ෂයෙක් වෙන්න
ඡායාරූප බලාගෙන ඇඳීම
පදනමක් නෙමෙයි.

ඡායාරූප බලාගෙන ඇඳීමට
කොතරම් දක්ෂ වුණත්
ජීව චිත්‍රකරණය
ඔහුට අයන්නෙ ඉඳලම
වෙනමම හදාරන්න වෙනවා.
වර්ණ හැසිරවීමෙ හුරුව හැරෙන්න
ඡායාරූප බලාගෙන ඇඳීමෙන්
ඔහුට ලැබෙන දෙයක් නැහැ.

ඡායාරූප බලාගෙන
සාර්ථකව චිත්‍ර අඳින අය අතරෙ
තමන්ගෙ සහජ හැකියාවෙන්
චිත්‍රයට නැවුම් ත්‍රිමාණ බවක් එක්කරමින්
පැතලි ඡායාරූපයකට ත්‍රිමාණ බව කවන
විශිෂ්ඨයන් දැකිය හැකි වුවත්
ඡායාරූපයක් බලාගෙන ඇඳීම
සරල සාමාන්‍ය දක්ෂකමක්.

සජීව චිත්‍රකරණය
නුපුහුණු වැඩිහිටියන්ට
ඉතාම අපහසු කාර්යයක්.

ඡායාරූපයක් බලාගෙන අඳින විට
අපි වෙනත් තලයක අඳින්නෙ
එවැනිම ද්විමාන තලයක
තනි ඇසකින් බලා
එළිය අඳුර මගින් සටහන් කරගත්
සීමිත තොරතුරු ටිකක්
.
සැබැවින්ම අපි බොහෝවිට කරන්නෙ
ඡායා පිටපත් යන්ත්‍රයක් මෙන්
අපි දකින වර්ණ පදාස
පාට අඩු වැඩි කරමින්
ඒ විදියටම පිටපත් කිරීමක්.

1, කැමරාවකාට සටහන්වෙන පරාසය ඉක්මවා
ඇසට ආලෝකයත් අඳුරත් තුළ දකින්න පුලුවන්.
ඒ අනුවත් ඇසට වඩා කැමරාව දුර්වලයි.

2, අපි වස්තුවක් ඇත්තට දකින කොට
ත්‍රිමාණ ස්වරූපය දකින්නෙ
ඇස් දෙකෙන්ම ලැබෙන තොරතුරු වලින්.
කැමරාව එකැස් කණෙක්.
කැමරාවට එළිය විතරක් නෙමෙයි..
අඳුරත් අවශ්‍යයි.

3, ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.
අපේ පැත්තෙන් එළියක් දැල්වුවත්
අපිට වස්තුවක ත්‍රිමාණ බව පෙනෙනවා.
එවැනි අවස්ථාවක
කැමරාවට පෙනෙන්නෙ පැතලි රූපයක්.
කැමරාවට අඳුර නැතුව බැහැ.

ඡායාරූප මගින්
ත්‍රිමාණ රූප හදන විට
කැමරා දෙකකින් රූපගත කරනවා.
ඒ ඡායාරූප දෙක එකක් කරන්නෙ
ප්‍රක්ෂේපනය කරන විටයි.

4, කැමරාව දකින්නෙ ත්‍රිමාණ රූපයක් වුණාට
කැමරාවට ගන්නෙ එළිය අඳුර මගින් ලබා දෙන
සීමිත තොරතුරු ටිකක්.
අපි කියවන්නෙ එළිය අඳුර නෙමෙයි.
වස්තුවක සැබෑ හැඩයයි.
අපි අඳින්නෙත් එළිය අඳුර නෙමෙයි..
වස්තුවේ සැබෑ ත්‍රිමාණ හැඩයයි.
ඒ හැඩය මතුවෙන විදියට
අපේ අත, ඇඟිලි, පින්සල, පෑන,
සායම් හැසිරෙනවා.

5, සැබෑ වස්තුවක් අපි දකින්නෙ ත්‍රිමාණවයි.
වස්තු කිහිපයක් එකට දකින කොට
ඡායාරූපයක සටහන් වෙන්නෙ
බොඳ වීම්, පර්යාලෝකය වැනි දේවල් නිසා
අපිට දැනෙන සැබෑ ගැඹුර කැමරාවට ලැබෙන්නෙ
පැතලි දත්ත සමූහයක් විදියටයි.

6,  වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..
ඒ හැඟීම හිතේ තියාගෙන
ඒ ත්‍රිමාණ හැඩය ලැබෙන විදියට
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
අපි එකතු කරන හැඟීම
කැමරාවට දෙන්නෙ නැහැ.

7, ඡායාරූප බලාගෙන
සාර්ථක චිත්‍ර අඳින අයට
ඔවුන් අඳින වස්තු ගැන
නිසි වැටහීමක් ලැබෙන්නෙ නැහැ.
චිත්ත රූප මගින් අඳින්න වුණොත්
ඔවුන්ගෙ තොරතුරු ගබඩාව හිස්.

8, සැබෑ වස්තුව දකින චිත්‍ර ශිල්පියාට
අනවශ්‍ය දේ ඉවත් කිරීමට සහ
අවශ්‍ය දේ මතු කිරීමට ඇති
විකල්ප ප්‍රමාණය අසීමිතයි.
ඡායාරූප ශිල්පියාට
ඒ සඳහා ඇත්තේ ක්‍රොප් කිරීම,
එළිය අඳුර පාලනය හා
ක්ෂේත්‍ර ගැඹුර පමණයි.

මේ හේතුව නිසාම
චිත්‍ර ශිල්පීන් අතර අනන්‍යතාවය
ඡායාරූපශිල්පීන් අතරට වඩා වැඩියි.
ඡායාරූප ශිල්පීන්
කලාව වශයෙන් හදාරන්නෙ
චිත්‍රශිල්පීන් විසින්
මිනිස් ඇස හා මොළය භාවිතා කරමින් කළ
 නිර්මාණ වලට උපයෝගී වුණ රීතීන්.

ඇත්තට මුහුදු වෙරළෙ ඉන්න කෙනෙකුයි...
ඡායාරූපයකින් මුහුද දකින කෙනෙකුයි සැසඳුවොත්
ඔවුන්ගෙ අත්දැකීම් අතර පරතරය
අහසට පොළව වගෙයි.

ඡායාරූපයක් බලාගෙන මුහුද
පිටපත් කරන පිටපත් ශිල්පියාත්
මුහුද බලාගෙන අඳින චිත්‍ර ශිල්පියාත් අතර
එවැනිම වෙනසක් තියනවා.

ග්‍රාන්ට් එකේ වැඩ කරන කාලෙ
රෙජී කන්දප්පා නම් වූ
උතුම් මිනිසාගේ ගේ මග පෙන්වීම මත
මාස කිහිපයක් තිස්සෙ සතියට දවසක් උදේ වරුව
ස්ටැන්ලි අබේසිංහ සර් ලඟට ගිහින්
සජීව චිත්‍ර ඉගෙන ගත්තා.

ඒ කෙටි කාලයේ ලැබූ ඉගෙනුම
මම පාසලෙන් ලැබූ සම්පූර්ණ අධ්‍යාපනයට වඩා
මට ප්‍රයෝජනවත් වුණා.

එතුමා මට දුන් පළමු අවවාද දෙක
මට තවම එදා වගේම මතකයි.

1, කඩදාසිය
හිස් අවකාශයක් ලෙස හිතන්න.

2, බාහිර රේඛා අඳින්නෙ නැතුව
පසුබිමත් මැදත් අඳින්න.

මේ විදියට අඳිනවා නම්
කුඩා දරුවන්ටත්
බලාගෙන අඳින්න පුලුවන් බව
මම පසුව තේරුම් ගත්තා.
 ======================
පහත දැක්වෙන ලිපිත් කියවන්න. 

මිනිස් සිරුරක හැඩ හැදෙන්න ඇටසැකිල්ල සහ පේශි තියන ආකාරය අනුවයි.       
මෙවැනි චිත්‍රයක් අඳිද්දි ඒ දැනුම ප්‍රයෝජනවත්. ...


ඡායාරූපයකට වඩා දෙයක් චිත්‍රයක තිබිය යුතුයි.  
ඡායාරූප ශිල්පියා අරමුණට යටත්..
ඡායාරූප ශිල්පියාට අරමුණේ හැඟීම උද්දීපනය කරන්න බැහැ. 
 
සැබෑ ද්‍රව්‍යයක් බලාගෙන ඇඳීම සපුරාම 
වෙනස් අත්දැකීම් දෙකක්.