Saturday, April 26, 2014

දක්ෂ චිත්‍ර ශිල්පියෙකුත් කලාත්මක චිත්‍රශිල්පියෙකුත් අතර වෙනස...............




දක්ෂ චිත්‍ර ශිල්පියෙකුත්
කලාත්මක චිත්‍රශිල්පියෙකුත් අතර
අහසට පොළව වැනි වෙනසක් තියනවා.

දක්ෂ චිත්‍ර ශිල්පියා
ඇසට පෙනන සත්‍යය
එලෙසින්ම ප්‍රතිනිර්මාණය කරනවා.

 

කලාත්මක චිත්‍රශිල්පියා අපට නොපෙනෙන
ඔහුට පමණක් පෙනෙන දෙයක්
ඉතා සරලව ඉදිරිපත් කරනවා.


දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රයක් තුළ
නොයෙක් ආකාරයෙන් ඔහුගේම ප්‍රතිරූපයත්
දකින්නට පිළිවන්..
ඔහුත් එහි ප්‍රධාන චරිතයක්..

 
කලාත්මක චිත්‍රයක ශිල්පියා සොයාගත නොහැකියි.
එහි ඇත්තේ ඔහු පෙන්වන දේ පමණයි.
ඇසින් දකින තොරතුරු එහි ඇත්තේ
ඉතාම අවම වශයෙනුයි..

එහෙත් ඔහු පෙන්වන දේ තුළින්
ඔහු විඳින ලද හැඟීම අපිට දැනෙනවා.
____________________________________________

මේ චිත්‍ර දෙකෙන් එකක්
සියලු විස්තර සහිතව
සජීවීව නිර්මාණය කර තිබෙනවා.
එහි සුන්දරත්වය
දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙක්,
දක්ෂ රූප ලාවණ්‍ය ශිල්පිනියක් විසින්
මනාව හැඩගන්වන ලද
සුන්දර මනාලියක් වගෙයි.


පාන්දර දිය නාගෙන
පැන් කළයකුත් ඉනෙන් රැගෙන
දිය රෙද්ද පිටින්,
තෙත කෙහෙරැල් සමග
මීදුම අතරින්
ගම්මානයක කෙතක් මැද්දෙන්
නියරක් දිගේ පිය මැන එන
පියකරු යුවතියක් මෙන්
අනික් චිත්‍රය අව්‍යාජයි.

මේ චිත්‍රය
වයසක බව අපට පෙන්වන්නේ
හැම මහළු කතකගේම මුහුණේ දක්නට ලැබෙන
රැලි වැටීම් හෝ නොසලකා හරිමින්.
ඉන් රූපයට සිදුවූ
කිසිම අඩුවක් නැහැ.

මේ ශිල්පීන් දෙදෙනාම
දෙවිදියක දක්ෂයින්.

තමා තුළ නැති...
අනෙකා තුළ ඇති අපූර්ව දක්ෂතාවයන්
තමා තුළිනුත් මතු කරගන්නට
මේ දෙදෙනාම උත්සුක විය යුතුයි.

-------------------------------------------------------
මා ඍජුවම මෙසේ කියන්නේ
චිත්‍රශිල්පයටම ජීවිතය වෙන් කළ
වියපත් චිත්‍ර ශිල්පියෙකු ලෙස
මගේ අරමුණත් එයම බැවින්...

Monday, April 14, 2014

1 ඡායාරූප පිටපත් කිරීම - ත්‍රිමාණ බව හුරු වෙමු.




ඡායාරූප පිටපත් කිරීම
ආරම්භයට හොඳ අභ්‍යාසයක්.
යම් ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා.

මේ ඡායාරූපය බලාගෙන අඳින්න.

වර්ණ එලෙසින්ම තිබිය යුතු නැහැ..

ඔබ මේ ඇපල් ගෙඩිය වෙන තැනක
වෙන ආලෝකයක තැබුවොත්
මේ කෝණයෙන් වුණත්
ඔබට පෙනෙන්නෙ මේ වර්ණ නෙමෙයි.


ඔබ මේ ඇපල් ගෙඩිය කොතන තිව්වත්
මේ කෝණයෙන් ඇපල් ගෙඩියෙ හැඩය මේ විදියමයි.


 

චිත්‍ර ශිල්පියෙකුට
වඩාත්ම වැදගත් වෙන්නෙ ත්‍රිමාණ හැඩයයි.
වර්ණ වෙනස් වෙන්න පුළුවන්.
හැඩය වෙනස් වෙන්නෙ නැහැ.

වර්ණ වල නිවැරදිභාවය කිසි සේත් අවශ්‍ය නැහැ.
වර්ණ පිළිබඳව මෙහිදී හදාරන්න අවශ්‍ය නැහැ.
වර්ණ මිශ්‍ර කිරීම හුරුවීමට වෙනත් අභ්‍යාස තියනවා.

මේ අභ්‍යාසයෙන් අපි හුරු වෙන්නේ
ඇපල් ගෙඩියක ත්‍රිමාණ බව
ඡායාරූපයක දකින්නට සහ
ඒ ත්‍රිමාණ බව ප්‍රතිනිර්මාණය කරන්නයි.
------------------------------------------------------------------------------------------

පහසුවෙන් ත්‍රිමාණ බව දකින්නට සරල උපදෙස් කීපයක්

.
මේ ආකාරයට චිත්‍ර නිර්මාණය කළ නොහැක.
මේ චිත්‍ර නිර්මාණය සඳහා යෙදෙන අභ්‍යාසයකි.
පෙර හුරුවකි.

ඔබ මේ හුරු වන්නේ අඳින්නට නොවේ. 
දකින්නටයි..

"චිත්‍රයක් නිර්මාණය කරන සිත්තරෙක්මි"
යන ආකල්පයෙන් සම්පූර්ණයෙන්ම මිදී
නවක සිසුවෙකුගේ
සරල නිදහස් ආකල්පයෙන් හා කුහුලෙන් යුතුව
අභ්‍යාසයෙහි යෙදෙන්න.
උපදෙස් ඔබට අවබෝධ වන අයුරින්ම පිළිපදින්න.

පළමුව ප්‍රධාන හැඩතල පැහැදිලිව දකින්නට හුරු වෙමු.
හැඩතල අතර සම්බන්ධය හැකිතාක් දුරට පවත්වාගන්න.

හරි හතරැස් කඩදාසියක
මේ අනුපාතයට ඇපල් ගෙඩිය ඉතිරි කොට පසුබිම අඳින්න.
  -----------------------------------------------------------

 මේ කොටස ගෝලාකාර බඳුනක් ලෙස දකිමින්
මේ හැඩතලය ඇඳ ගන්න.
-----------------------------------------------------------
  නටුව සහ ඇතුළට එබුණ මැද ප්‍රදේශය
ඒ හැඟීමෙන් යුතුව අඳින්න.
-----------------------------------------------------------

 ඉතිරි ප්‍රදේශය
ත්‍රිමාණ ස්වභාවය ගැන හැඟීමෙන් යුතුව
සම්පූර්ණ කරන්න.
-----------------------------------------------------------

 සෙවණැල්ල යොදන්න.
-----------------------------------------------------------
 
වර්ණ නිසා හැදෙන හැඩ තල අතර
අනුපාතික සම්බන්ධතාවයක් තියනවා.
ආලෝකය සහ අඳුර ගැන හිතන්න එපා.

ඔබ තනි ඇසකින් යුත් කැමරාවක් නොවෙයි.
දෑසක් ඇති මිනිසෙක්.

වර්ණ වල වෙනස දකින්න.
රතුපාට අඳුරු වුණ තැන්වල අඳුර නොව දුඹුරුපාට දකින්න.

එකම රතුපාට
අඳුරු තැනක අඳුර විදියට
දකින්නත් පුලුවන්.
දුඹුරු විදියට දකින්නත් පුලුවන්..

එළිය අඳුර කියල බලනකොට වර්ණ විශාල සංඛ්‍යාවක් පෙනෙනවා.
ඒත් අඳින්නෙ එකම වර්ණයකට  කලු මිශ්‍ර කරමින් නිසා
චිත්‍රය එකාකාරීයි.

රතු දුඹුරු විදියට දකින කොට වර්ණ දෙකක්..

යෙදිය යුතු වර්ණ ප්‍රමාණය අඩුයි..
එකාකාරී සමාන බවක් නොවෙයි.
සාම්‍යයක් ඇති වෙනවා.
චිත්‍රයත් සරල වෙනවා.

මේ විදියට බලනවිට වර්ණ හැඩතල වෙන්ව දකින්න පහසුයි.
හැඩතල අතර සම්බන්ධය හැකිතාක් දුරට පවත්වාගන්න.

කුඩා දරුවන් පාවිච්චි කරන පැස්ටල් භාවිතා කරන්න.

ඩිජිටල් මාධ්‍යයෙන් ඇඳීමෙන් වලකින්න.
=======================================================
ඔබ මෙහි යොමු වූයේ ෆේස්බුක් සමූහයකින් නම්
මේ ඇසුරෙන් අඳින ඔබේ චිත්‍ර එම සමූහයේ පළ කරන්න.

එසේ නැත්නම් මේ සමූහයේ පළ කරන්න
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-frc3/t1.0-9/1393685_10200747659440551_1799914578_n.jpg
===================================================

චිත්‍රයක් ඡායාරූපය ඉක්මවා යා යුතුයි.

ඡායාරූප පිටපත් කිරීම
ආරම්භයට හොඳ අභ්‍යාසයක්.
යම් ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා.

ත්‍රිමාණ වස්තූන් සහ
මිනිස් රූප, සත්ව රූප බලා ඇඳීමත්
ඇට සැකිල්ල පේශි ආදිය සමග
මිනිස් රූප, සත්ව රූප  අවබෝධ කර ගැනීමත්
චිත්‍ර ශිල්පියෙකු විදියට
නිර්මාණාත්මකව ඉදිරියට යාමට
අත්‍යාවශ්‍යයි..

චිත්‍රයක් ඡායාරූපය ඉක්මවා යා යුතුයි.

-------------------------------------------------------------------------------------
තවත් අදාළ ලිපි

 ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස්
 .
ඡායාරූප බලා ඇඳීමෙදි වරදින තැන.