Thursday, October 26, 2017

රසඥ මනසෙන් චිත්‍ර අඳින්න, තාර්කික මනසෙන් ජීවත් වෙන්න.





ඔබට නිවැරදිව වීදුරුවක් අඳින්න පුලුවන්ද?

නිවැරදිව වීදුරුවක් අඳින්න රසඥ මනසට පුලුවන්.
තාර්කික මනසට නිවැරදිව වීදුරුවක් අඳින්න බැහැ.

මේසයක් උඩ ඇති වීදුරුවක් දකින කෙනෙක්
එහි මුව දකින්නේ ඕවලාකාර හැඩයක් ලෙසය.
එහෙත් ඔහුගේ තාර්කික මනස ක්‍රියාකරමින්
ඒ හැඩය වෘතයක් බව ඔහුට හඟවයි.

ඔහුට වෘතයක් අඳින්නට අවශ්‍ය වුණොත්
වීදුරුවේ මුව තබා ඒ වටා පෑන ගෙන ගොස්
නිවැරදිව වෘතය ඇඳ ගත හැකි බව
ඔහු ආයාසයෙන් සිතිය යුතු නැත.

ඔහු අඳින වෘතය ඉදිරියෙන් සිට
හරියටම ලම්බකව නොබැලුවොත්
වෘතය වෙනුවට  ඔහු දකින්නේ ඕවලයකි.

ත්‍රිමාණ දර්ශන සංශෝධනය කරමින්
ද්විමාන තොරතුරු ලබාදෙන තාර්කික මනස වන
මිනිස් මොළයෙ වම් පැත්තී ක්‍රියාකාරිත්වය නිසා
බොහෝ දෙනෙකුට වීදුරුවක් ඇඳ ගැනීම
නිතරම වරදින කාර්යයකි.
වීදුරුවක් දෙස බලා ඇන්දත්
තර්කයෙන් අඳින වීදුරුවේ මුව වෘතයකි.
වීදුරුවේ පතුල සරල රේඛාවකි.

කිසිම කෙනෙක් කොතරම් වීදුරුව හරවමින්
කෝණ කීයකින්, කොතරම් බැලුවත්
වෘතාකාර මුවත් සරල රේඛීය පතුලත්
දෙකම එක වර දැකිය නොහැක.
වෘතාකාර මුවත් සරල රේඛීය පතුලත් පෙනෙන්නේ
වෙනස්ම කෝණ දෙකකින් බලන විටය

රසඥ මනසින් ක්‍රියා කරන
චිත්‍ර ශිල්පියා වීදුරුව අඳින්නේ
ඔහු දකින ඕවලාකාර මුව සහ
ඊට වඩා ටිකක් ලොකු ඕවලයකින්
අඩක් පෙනෙන පතුලක් සහිතවයි.
ඒ ඔහුගේ ඇසට පෙනෙන සැබෑ රුවයි.
ඔහුගේ තාර්කික මනස නිහඬය.
ජ්‍යාමිතික දැනුම අකර්මණ්‍ය වූ
ඔහුගේ රසඥ මනස තමන් දකින දේ
ඒ අයුරින්ම චිත්‍රයට නගයි.

සැබෑ ද්‍රව්‍ය බලා චිත්‍ර අඳින තුරු
චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍ර වලින්
සත්‍යයත් ජීවයත් කාන්දු වන්නේ නැත.
ඔහුගේ ඇස දකින සැබෑ දාර්ශනික ලෝකය
මනසින් දකින දාර්ශනික ලෝකය නොවේ.
මේ කඩුල්ල පනින තුරු ඔහු අසම්පූර්ණය.

වීඩියෝ ආදර්ශයෙහි පෙනෙන අයුරින්
ද්විමාන තලයක ''එකම ප්‍රමාණයෙන්'' යුතු
මෝටර් රථ දෙකක ආදර්ශ රූප දෙක
ත්‍රිමාණ පසු බිමක යෙදූ විට
තාර්කික මනස අවුල් වන ආකාරයේ රුවක්
අප හමුවේ මැවෙන්නේය.

පහළින් ඇති රියට සාපේක්ෂව ඉහළින් ඇති රිය
විශාල යැයි තර්කයෙන් නිගමනය කරයි.

ද්විමාන තලයේ රූපවල වෙනසක් නැත.

ත්‍රිමාණ දර්ශන සංශෝධනය කරමින්
ද්විමාන තොරතුරු ලබාදෙන තාර්කික මනස
රූපවල සමානත්වය දකින්නට
පසුබිමෙන් කරන බලපෑමට යටත්ව
ද්විමාන තලයේ වෙනසක් නැතත්
වෙනසක් දකිමින් මුලා වෙයි.

ද්විමාන තලයෙහි
සත්‍යය ඒ අයුරින්ම පෙනෙන්නේ
රූප දෙක සමාන නිසාය.
දැන් ද්විමාන තලයක සමාන රූප පවතියි.

ත්‍රිමාණ දර්ශණයක සමාන රූප වුවත්
පවතින තැනට සාපේක්ෂව ලැබෙන තොරතුරු
අපේ තාර්කික මනස රවටන්නට සමත් වෙයි.


මිනිස් මොළයෙ වම් පැත්ත සහ දකුණු පැත්ත
එකඟ නොවෙන තවත් දර්ශනයක් මේ.

සැබෑ දර්ශනයකදි අපි ඇසින් දකින දේ
අපේ බුද්ධියෙන් දන්න දේ නොවෙයි.

ඒ රූපම ගඩොල් බිත්තියෙ ද්විමාන තලය මත
ඒ තලයට සාපේක්ෂව වෙනසක් නොපෙන්වයි.

චිත්‍ර ශිල්පයේදී බාධාවක් වන නමුදු
ඇසට පෙනෙන විකෘති රූපය මාර්ගයෙන්
සත්‍ය රූපය සොයා ගැනීම නැතිව
එදිනෙදා ජීවිතය ගත කළ නොහැක.
රසඥ ඇසට කවර හැඩයකින් පෙණුනත්
තාර්කික මනසේ රූප සංස්කරණයෙන්
අපි ඒ රූප නිවැරදිව දකිමු.

අඩි විස්සක පාරක් පනින්නට යන මගියෙකුට
පාරේ පළල ලෙස අඩි විස්සක් නොපෙනෙයි.
පාරේ අනෙක් පස ඇති අඩි විස්සේ කණුව
ඒ ප්‍රමාණයටම පෙනෙන නමුත්
ඇසට රූප වැටෙන කෝණ වලට සාපේක්ෂව
පාර ඔහු දකින්නේ අඩි ස්වල්පයක් මෙනි.

මේ අවස්ථාවේදී තාර්කික මනස විසින්
මේ දුර දෙකම සමාන බව පහදා දෙයි.
මේ හැකියාව නැති නම් පාරේ ගමන් කරන
වාහන දෙකකට මාරු වීමද අසීරුය.

චිත්‍ර ශිල්පයේදී බොහෝ දෙනෙක්
තමන්ට චිත්‍ර ඇඳීමට නොහැකියයි සිතන්නේ
මේ තාර්කික මනසේ සංස්කරණය නවත්වා
රසඥ මනසින් ඇඳීමට නොහැකි වීමයි.

සැබෑ ද්‍රව්‍ය සහ මිනිස් රූප
බලා අඳින්නට සිසුන් හුරු කරන
දක්ෂ ගුරුවරයෙකුගේ මග පෙන්වීමන්
මේ අපහසුව මගහරවා ගත හැක.

 

 

 



 

 


මිනිස් සිරුරේ ඇට සැකිල්ල,
පේශි ආදිය උගන්වන පොත් සහ
රිද්මය, සමබර බව ආදිය උගන්වන
පොත් අති විශාල සංඛ්‍යාවක්
අන්තර්ජාලයෙන් සොයාගත හැක.
නොමිලේම බාගත කරගෙන
මිනිස් සිරුර හොඳින් හදාරන්න.










Download Free Art Books
===========================================
චිත්‍ර අඳින්න, ගීත, කවි, කතා ලියන්න
අපි මොළයේ දකුණු පැත්තට බරවෙමින්
රසඥ මනස පුබුදුවා ගනිමු..

ඒ අවස්ථාවේදී තාර්කික මනස
එනම් මොළයේ වම් පැත්ත තර්ක මතු කළොත්
අපට කලාත්මක නිර්මාණ කරන්න නොහැකි වෙයි..

විද්‍යාවෙදි ස්වාමියා බවට පත්වෙන බුද්ධිය
කලාවෙදි වහලෙක් කරගන්න කලාකරුවා පෙළඹෙයි.

"සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකෙගෙ ලස්සන බලන්න
පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න."
ප්‍රේමකීර්තිගෙ මේ පද දෙක
බුද්ධියෙන් විග්‍රහ කරන්න නම්
මොළයට හත් ගව්වක් ගියත්
සාර්ථක තර්කයක් නෑ..

හදවතින් විඳින්න එක පියවරක් ඇති.



Tuesday, October 24, 2017

විද්‍යාවෙදි ස්වාමියා වෙන බුද්ධිය කලාවෙදි වහලෙක්.

මිනිස් මොළයෙ වම් පැත්ත සහ දකුණු පැත්ත
එකඟ නොවෙන දර්ශනයක් මේ.

සැබෑ දර්ශනයකදි අපි ඇසින් දකින දේ
අපේ බුද්ධියන් දන්න දේ නොවෙයි.

රේල්පාරෙ තියන සිල්පර කොටන් සියල්ල
සමාන බව අපේ මොළය දන්නවා.
ඇසට පෙනෙන්නෙ
ඈත තියන සිල්පර කොටන් කුඩාවටයි.

චිත්‍ර අඳින්න, ගීත, කවි, කතා ලියන්න
අපි මොළයේ දකුණු පැත්තට බරවෙනවා.
ඒ වෙලාවට 
මොළයෙ වම් පැත්ත පණ්ඩිත කම් කළොත්
අපට කලාත්මක නිර්මාණ කරන්න බැරි වෙනවා.

විද්‍යාවෙදි ස්වාමියා බවට පත්වෙන බුද්ධිය
කලාවෙදි වහලෙක් කරගන්න කලාකරුවා පෙළඹෙනවා.

"සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකෙගෙ ලස්සන බලන්න
පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න."
ප්‍රේමකීර්තිගෙ මේ පද දෙක
බුද්ධියෙන් විග්‍රහ කරන්න නම්
මොළයට හත් ගව්වක් යන්න වෙනවා.
හදවතින් විඳින්න එක පියවරක් ඇති.

විද්‍යාඥයා චිත්‍ර කියා කුරුටු බලි අඳිනවා.
චිත්‍ර ශිල්පියා විද්‍යාව ඉක්මවා යනවා.

මිනිස් මොළයේ විද්‍යාත්මක වම සහ කලාත්මක දකුණ...



මිනිස් මොළයෙ වම්පැත්තත් දකුණු පැත්තත්
එකිනෙකට බෙහෙවින් වෙනස් ආකාරයට ක්‍රියා කරන බව
අද සොයාගෙන තියනවා.
වම්පැත්ත විද්‍යාත්මකයි, යාන්ත්‍රිකයි, පුරුෂ ගුණිකයි.
දකුණ කලාත්මකයි. ස්ත්‍රී ගුණිකයි.

වම තාර්කිකයි, සමාජවාදීයි, පාක්ෂිකයි,
ඔත්තෙ සංඛ්‍යාත්මකයි...
එකාකාරී තාලයක් තියනවා.
විච්ඡදනය කරමින් ඛණ්ඩනය කරමින්
වර්ග කරනවා.
වතුර අයිස් ජලවාෂ්ප
වර්ග තුනක් විදියට දකිනවා.
ඒ විදියට සලකනවා.
විද්‍යාවෙදි මේ ගුණය ප්‍රකටයි.

දකුණ අතාර්කිකයි. ඉරත්තෙ සංඛ්‍යාත්මකයි..
කාරුණිකයි, අපක්ෂපාතීයි,
තාලයට වඩා රිද්මයක් තියෙන්නෙ.
සියලු කොටස් එකම දේක අංග විදියට
සම්බන්ධ කරමින් බලනවා.
වතුර අයිස් ජලවාෂ්ප
එක වර්ගයක ප්‍රභේද විදියට දකිනවා.
දෙවිදියටම සලකනවා.
කලාවෙදි මේ ගුණය අත්‍යාවශ්‍යයි.

හිරු, දහවල, ආලෝකය වමට බරයි.
සඳු, රාත්‍රිය, අඳුර දකුණට බරයි.

සියල්ලම මේ ආකාරයෙන් බෙදෙනවා.
හැම කෙනෙක් තුළම මේ දෙපැත්ත
එක් පසකට බරව පවතිනවා.
සමබර කර ගැනීමේ අභියෝගය
හැම කෙනෙක් ඉදිරියෙම තියනවා.

මොළයේ දෙපසම සමබර කරගත් සහ
සමබර කරගන්නා ක්‍රමය කියා දුන්
උත්තර මනුෂ්‍යයා බුදුන් වහන්සේයි.
බුදු දහමෙන් පුහුණු කරන සම්පජානෝ සතිය මගින්
සම්පූර්ණ මොළය සහ ස්නායු පද්ධතිය
භාවිතා කරන්නට මග සකස් කරනවා.

දක්ෂ විද්‍යාඥයන් වමට බරයි.
ඒත් ඔවුන් අතර ලෝක පූජිත වෙන්නෙ
දකුණෙ ස්වභාවය මිශ්‍ර වුණ අයින්ස්ටයින්
නිර්මාණාත්මක හැකියාව තිබුණ එඩිසන් වැනි අයයි.

කලාකරුවන් බිහිවෙන්නෙ දකුණෙන්.
ඒත් ඔවුන් අතර ලෝක පූජිත වෙන්නෙ
ඩාවින්චි, ටොල්ස්ටෝයි, තාගෝර් වැනි
වම් පැත්තත් මිශ්‍ර වූ අයයි.

ලංකාවෙ නිර්මාණකරුවන් අතුරෙන්
මාර්ටින් වික්‍රමසිංහ වැඩිපුර වමට බර කෙනෙක්..
ඔහුගෙ නිර්මාණ වල තර්කනය තියනවා.
සරච්චන්ද්‍ර මාර්ටින් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කළා.
ඒත් ඔහු ඊට වඩා දකුණට බරයි.
ඔහු නිර්මානය කළ දෙවෙන්දොරා සං
මොළේ දකුණු පැත්තෙ ප්‍රතිමූර්තියක්.
නොරිකො ස්ත්‍රියක් ලෙස දකුණට බර නමුත්
වම භාවිතා කොට ප්‍රශ්න ඇති කළා.

"පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ"
සිංහබාහු වදන් තුළ තර්කනය
කලාත්මකව සැඟවී තියනවා.

සේකර තුළ මේ දෙපැත්ත
වෙන්කරන්න නොහැකි තරමෙ
හොඳ සමබරතාවයකින් තිබුණා.
ප්‍රේමකීර්ති දකුණට බර වුණත්
සියුම් ලෙස වම්පැත්ත භාවිතා කළ කෙනෙක්.

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල..
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...
ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.

සුනිල් ආරියරත්න වමට බර කෙනෙක්.
මහාචාර්ය පදවිය සමග ඔහු වමටම කොටුවුණා.
නිර්මාණ උල්පත හිඳුණා.

ගාමිණී ෆොන්සේකා වම භාවිතා කරමින්
දකුණ නිදහස් කරගත් කෙනෙක්.
ජෝ දකුණට බරයි.
ජෝ තුළත් ප්‍රේමකීර්තිගේ මෙන් සියුම්ව
වම හොඳින් ක්‍රියා කළා.

රත්න ශ්‍රීත් වමට බර, තාර්කිකව, පාක්ෂිකව
සමාජවාදීව ලොව දිහා බලන කෙනෙක්.
දකුණ දුර්වලවීම ඔහුගෙ නිර්මාණ හැකියාවට
විශාල බාධාවක්.

සැබෑ කලාකරුවාත් , විද්‍යාඥයාත් දෙදෙනාම
මිනිස් වර්ගයාගෙන් කොටසක් තෝරාගත්තේ නෑ..
ඔවුන් වින්දිතයාට මෙන්ම වරද කරන්නාටත්
කරුණාව දැක්වුවා.

හිරිමල් යොවුන් වියේදි
දක්ෂ ලේඛන හැකියාවක් පෙන්වූ
මගේ එක් කාලයක මිතුරෙක් සමග
මම රූපවාහිනිය නැරඹුවා.
එක් දර්ශනයක
කාක්කෙක් හා පැටියෙක් අල්ලා ගනිද්දි
"අනේ පව්" කියා ඔහු කම්පා වුණා.
ඊළඟ දර්ශනයක
රාජාලියෙක් අර කාක්කා අල්ලාගනිද්දි
" හොඳ වැඩේ" කියමින් සතුටුවුණා.
ඔහු තුළ තිබුණේ අනුකම්පාවයි.
කරුණාව නොවෙයි.

අනුකම්පාවෙන් නිර්මාණ කරන කලාකරුවා
උත්තම ගණයට වැටෙන්නෙ නෑ..
ඔහුගෙ නිර්මාණ වලට පදනම් වෙන්නෙ
අනුව කම්පා වීමයි.
අනුකම්පාව සියුම් ආත්මානුකම්පාවක්.
ඔහු සටන් කරන්නෙ තමන්ගෙ වර්ගයා වෙනුවෙන්.

සැබෑ කලාකරුවා කාරුණිකයි.
ඔහු වරද සිදුවන්නාටත්
වැරදි කරන්නාටත් කරුණාව දක්වනවා.

" මා වැඳ වැටුණේ ඔබට නොවෙයි.
දුක් විඳින සියලු මිනිස් වර්ගයාටයි."

ඩොස්ටොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම පොතේ
වියරුවෙන් මෙන් ගණිකාවකට වැඳ වැටෙන
මිනීමරු රස්කොල්නිකොව් කියන
මේ වචන වල මෙන්ම මේ ජවනිකාව තුළත්
මොළයේ වමත් දකුණත් ඉතා හොඳින් මිශ්‍රව තියනවා.

ඩොස්ටොයෙව්ස්කි,
තාගෝර් ටොල්ස්ටෝයි වැන්නන්
අපක්ෂපාතී යහපත් දෙමාපියන් මෙන්
තමන්ගෙ හැම චරිතයකටම කරුණාව දැක්වුවා.
ඔවුන්ගෙ නිර්මාණවලින් විහිදෙන
ඒ කරුණාවෙන් හදවත් දයාවෙන් තෙත් වී
රසිකයන්ගෙ මිනිස් බව වර්ධනය වුණා.
හොඳ කලාකරුවන් වටා කල්ලි හැදුණෙ නෑ.
ඔවුන්ට ආදරය කළ පොදු ජනතාව
ඔවුන් සැලකුවේ පොදු වස්තූන් විදියටයි.
ගෞරවයට හේතු වුණේ
ඒ කලාකරුවන් විසින්
මොළයේ වම සහ දකුණ වෙන් කරන සීමාවන්
ස්වභාවයෙන්ම අතික්‍රමය කිරීම නිසයි.

අද ඉන්න නිර්මාණ කරුවන්ගෙ හිත් ඉතාම පටුයි.
ඔවුන් නිර්මාණ කරන්නෙ සීමිත පරාසයක වෙසෙන
තමන්ගෙ පක්ෂය වෙනුවෙන්.
ඒ නිසා ඔහු වටා කල්ලියක් හැදෙනවා.
" මේ අපේ මිනිහෙක්" කියන හැඟීම
ඒ රසිකයන් තුළ තියනවා.
ඒ හැඟීම කලාකරුවා බාල බවට
සහතික කරන මුද්‍රාවක්.