Sunday, January 9, 2022

චිත්‍රයක් සහ ඡායාරූපයක් අතර වෙනස කුමක්ද?

 

"චිත්‍රයක් සහ ඡායාරූපයක් අතර
වෙනස කුමක්ද?" කියා
මා නිතර කරන සංවාදයේ
තවත් පියවරක් මේ.

මෙහි පළමු වැන්න
ජනිත් වීරවර්ණගේ චිත්‍රයක්..

.
දෙවැන්න රුසියානු චිත්‍ර ශිල්පී
නිකොලායි ෆෙචින්ගේ චිත්‍රයක්.

.
තුන්වැන්න අන්තර්ජාලයෙන් ගත්
සාමාන්‍ය ඡායාරූපයක්.

.
සිව්වැන්න අසංක අනුජීවගේ චිත්‍රයක් පසුබිමේ
ඔහුගේ පියා සමග ගත් ඡායාරූපයක්.


මෙවර මේ සංවාදය ඇරඹුණේ
ජනිත් සමගයි.

මෙහි පළමු චිත්‍රය ඇන්ද
ජනිත් වීරවර්ණ කියනවා..
"කලාව තම තමන්ගේ පෞද්ගලික මතයන් අනුව වැටක් ගහලා නවත් වන්නට බෑ. තමන්ගේ මට්ටමින් අනුන්ගේ සිතුවම් සීමා කරන්නට බැහැ.
කලාව නීති දාලා කොටු කරන්නට බැහැ."

සොබා දහමේ
අනික් හැම දෙයක්ම වගේ
කලාවත් නීතිවලට යටත්.
ඒ නීති රැකිය යුතුයි කියා
නීතියක් නෑ..

ඡායාරූපයක් අඳින කෙනෙක්
ඒ ඡාරූපයේ නීතිවලට යටත්.
කැමරාවට නොපෙනුන තැන්
ඔහුට දකින්න බෑ.
ඒ පුද්ගලයාම වාඩි කරලා
ඔහු දිහා බලාගෙන ඇන්දොත්
කැමරාවට නොපෙනුන බොහෝ දේ
මිනිස් ඇසට පෙනෙනවා.
අවසානයට තියන
අසංක අනුජීවගේ චිත්‍රයේ
මේ වෙනස පැහදිලිව පෙනෙනවා.


ඔහු කණ ප්‍රදේශය මතු කරද්දී
වර්ණ යොදන්නේ අඳුර සලකා නොවෙයි.

ඔහු කැමරාව ඉක්මවා යනවා.



මීට අමතරව අපට බලපාන
තවත් නීති තියනවා.

කාගෙ හරි ඇණවුමකට චිත්‍ර අඳිනකොට
මම නොදැනුවත්වම ඔහුගෙ නීතිවලට යටත්..
ඔහුගෙ රුචිකත්වය තියෙන්නෙ
ඡායාරූප ශෛලියෙ චිත්‍රයකට නම්
මම ඔහුගෙ රාමුව තුළ කොටු වෙනවා.
ඔහු ඉල්ලන්නෙ චිත්‍රයක් නොවෙයි.
අතින් ඇන්ද ඡායාරූපයක්.
මම ඒ විදියට අඳිනවා.
ඔහුට රුචි විදියට චිත්‍රය නැත්නම්
ඔහු ඒ චිත්‍රය මිලට ගන්නෙ නෑ.

ඇණවුමකට අඳින කෙනෙක්
ඒ රාමුව තුළ කොටුවෙලා වැඩ කිරීම
මම වැරදියි කියන්නෙ නෑ.
ඒකට ඕනම කෙනෙකුට නිදහස තියනවා.
එහෙම නැත්නම් පැවැත්මක් නෑ.

මම කියන්නෙ වෙන දෙයක්.
මම කියන්නෙ චිත්‍රයක සහ
ඡායාරූපයක වෙනසක් තියනවා.
ඒ වෙනස පෙනෙනවාද නැද්ද කියන එක
කෙනෙකුට පුද්ගලික, ආවේණික දෙයක්.
සමහරුන්ට මේ වෙනස පෙනෙන්නෙ නෑ.

මම කෙනෙකුගෙ චිත්‍ර ගැන කතා කරන්නෙ
ඔහු වෙනස් කරන්න හිතාගෙන නොවෙයි.
ඔහුගෙ චිත්‍රය විශේෂ නිසයි.

ඡායාරූපයක් ඒ අයුරින්ම
පිටපත් කිරීමත් දක්ෂ කමක්.
ඒත් ඡායාරූපයක සීමාව
චිත්‍රයට වඩා පටු කුඩා සීමාවක්.
ඒ සීමාව තුළ තියෙන්නෙ
එළිය සහ අඳුර පෙන්වන
මූලිකම තොරතුරු විතරයි.

මිනිස් ඇසට කැමරාවට වඩා
පැහැදිලිව දකින්න පුලුවන්.

ඡායාරූප පිටපත් කිරීමට ඇබ්බැහිවීම නිසා
අවශ්‍ය්ව වුණත් ඡායාරූපය ඉක්මවා යන්න බැරි
චිත්‍ර ශිල්පීන් අද අප අතර බහුලව ඉන්නවා.
ඒ ශිල්පීන් දන්න එකම ක්‍රමය
සිත් පිත් නති කැමරාවක් කරන විදියටම
එළිය අඳුර අනුව සටහන් කිරීමයි.

ලයිෆ් ඩ්‍රෝවින් වලට දක්ෂ
හොඳ ත්‍රිමාණ දැක්මක් තියන
හැඩතල හොඳින් පෙනෙන චිත්‍ර ශිල්පියෙකුට
චිත්‍රයක් අඳින්න අවශ්‍ය වුණාම
ඡායාරූප ශිල්පියෙක් කරන විදියට
එක ආලෝක ප්‍රභවයක් භාවිතා කරන්න
කිසි සේත්ම අවශ්‍ය නෑ.

මේ සමග තියන
නිකොලායි ෆෙචින්ගෙ චිත්‍රය බලන්න.
එහි නිශ්චිත ආලෝක ප්‍රභවයක් නෑ.
ඔහු හැඩතල පෙන්වන්නට
කලු සහ සුදු භාවිතා කරනවා.
ඔහු සලකන්නෙ මුහුණෙ හැඩතල විනා
එළිය අඳුර අනුව හැදෙන
කලු සුදු සහ අලු රටාව නොවෙයි.
ඡායාරූපයක එළිය අඳුර වැටෙන කොට
එළිය වැඩිම තැන සහ එලිය අඩුම තැන
විස්තර අපිට දකින්න නෑ.
මිනිස් ඇස ඊට වඩා තියුණුයි.

ෆෙචින් අඳින නාසය බලන්න.
මිනිස් ඇසට පෙනෙන ආකාරයට
ඔහු නාසයේ හැම පැත්තම අඳිනවා.
නාසයේ සිදුර කලු කරලා නෑ.

ඡායාරූප වල මෙවැන්නක්
ඔබට දැකිය හකිද?
ඔහු එළිය අඳුර සලකන්නේ නෑ.
ඔහු කැමරාවක් නොවෙයි.

ඉතා දක්ෂ ඡායාරූප ශිල්පීන්
චිත්‍ර ශිල්පීන් අනුගමනය කරමින්
ආලෝක ප්‍රභවයන් කිහිපයක් භාවිතාවෙන්
මේ වගේ හැඩතල බහුල ඡායාරූප
නිර්මාණය කරනවා.
ෆෙචින් හිතන්නෙත් දකින්නෙත්
චිත්‍ර ශිල්පියෙක් වගෙයි.

"ඒ ෆෙචින්ගෙ ශෛලිය" කියල
කියන අය ඉන්න පුලුවන්.
ඔව්...ෆෙචින්ගෙ ශෛලිය
අපි නිතර දකින චිත්‍රවලට වඩා
බොහෝ වෙනස් ශෛලියක්.
ෆෙචින්ගෙ ශෛලිය වෙනස් වෙන්නෙ
ඔහු දකින විදියත් අඳින විදියත්
ඡායාරූප ශිල්ප ක්‍රමය නොවෙන නිසයි.

මේ වෙනස් කම් ගැන සිහියෙන්
අපි දකින චිත්‍ර ශෛලිය විමසද්දි
ඒ චිත්‍රයක්ද ඡායාරූපයක්ද කියා
වෙන් කර හඳුනා ගන්න තරමට
අපේ ඇස දියුණු වෙනවා.
එතෙක් මම මේ කියන දේ
වැටහෙන එකක් නෑ.
.
______Athula Siriwardhane