Saturday, April 26, 2014

දක්ෂ චිත්‍ර ශිල්පියෙකුත් කලාත්මක චිත්‍රශිල්පියෙකුත් අතර වෙනස...............




දක්ෂ චිත්‍ර ශිල්පියෙකුත්
කලාත්මක චිත්‍රශිල්පියෙකුත් අතර
අහසට පොළව වැනි වෙනසක් තියනවා.

දක්ෂ චිත්‍ර ශිල්පියා
ඇසට පෙනන සත්‍යය
එලෙසින්ම ප්‍රතිනිර්මාණය කරනවා.

 

කලාත්මක චිත්‍රශිල්පියා අපට නොපෙනෙන
ඔහුට පමණක් පෙනෙන දෙයක්
ඉතා සරලව ඉදිරිපත් කරනවා.


දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රයක් තුළ
නොයෙක් ආකාරයෙන් ඔහුගේම ප්‍රතිරූපයත්
දකින්නට පිළිවන්..
ඔහුත් එහි ප්‍රධාන චරිතයක්..

 
කලාත්මක චිත්‍රයක ශිල්පියා සොයාගත නොහැකියි.
එහි ඇත්තේ ඔහු පෙන්වන දේ පමණයි.
ඇසින් දකින තොරතුරු එහි ඇත්තේ
ඉතාම අවම වශයෙනුයි..

එහෙත් ඔහු පෙන්වන දේ තුළින්
ඔහු විඳින ලද හැඟීම අපිට දැනෙනවා.
____________________________________________

මේ චිත්‍ර දෙකෙන් එකක්
සියලු විස්තර සහිතව
සජීවීව නිර්මාණය කර තිබෙනවා.
එහි සුන්දරත්වය
දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙක්,
දක්ෂ රූප ලාවණ්‍ය ශිල්පිනියක් විසින්
මනාව හැඩගන්වන ලද
සුන්දර මනාලියක් වගෙයි.


පාන්දර දිය නාගෙන
පැන් කළයකුත් ඉනෙන් රැගෙන
දිය රෙද්ද පිටින්,
තෙත කෙහෙරැල් සමග
මීදුම අතරින්
ගම්මානයක කෙතක් මැද්දෙන්
නියරක් දිගේ පිය මැන එන
පියකරු යුවතියක් මෙන්
අනික් චිත්‍රය අව්‍යාජයි.

මේ චිත්‍රය
වයසක බව අපට පෙන්වන්නේ
හැම මහළු කතකගේම මුහුණේ දක්නට ලැබෙන
රැලි වැටීම් හෝ නොසලකා හරිමින්.
ඉන් රූපයට සිදුවූ
කිසිම අඩුවක් නැහැ.

මේ ශිල්පීන් දෙදෙනාම
දෙවිදියක දක්ෂයින්.

තමා තුළ නැති...
අනෙකා තුළ ඇති අපූර්ව දක්ෂතාවයන්
තමා තුළිනුත් මතු කරගන්නට
මේ දෙදෙනාම උත්සුක විය යුතුයි.

-------------------------------------------------------
මා ඍජුවම මෙසේ කියන්නේ
චිත්‍රශිල්පයටම ජීවිතය වෙන් කළ
වියපත් චිත්‍ර ශිල්පියෙකු ලෙස
මගේ අරමුණත් එයම බැවින්...

No comments:

Post a Comment