Friday, November 12, 2021

චිත්‍රයට සාපේක්ෂව ඡායාරූපය දුර්වල මාධ්‍යයක්.



ඡායාරූපය දුර්වල මාධ්‍යයක්.

ඕනම කෙනෙකුට ඡායාරූප ගන්න පුලුවන්.
හොඳ ඡායාරූපයක් ගන්න නම්
ඔහු අතිදක්ෂයෙක් වෙන්න ඕන.
ඔහු චිත්‍ර ශිල්පියෙක් වගේ සංයමයෙන්
තමන්ගෙ අරමුණ දකින්න ඕන...
ඒ වගේ හැඟීමෙන් ඒ අවබෝධයෙන්
ආලෝකය හසුරුවන්න ඕන.
ඒ ඡායාරූපය ඕන කෙනෙකුට ගන්න බෑ.

මේ අවස්ථාව, 

මේ කතාව තව ටිකක්
විස්තාරණය කරල තේරුම් ගන්න
අපිට උපයෝගී කරගන්න පුලුවන්..

අසංකගෙ මේ අපූරු චිත්‍රය...
දුර්වල කැමරා ඇස සහ මිනිස් ඇස අතර වෙනස
සංසන්දනාත්මකව මනාව පෙන්වන රූපයක්.
ඡායාරූප ඒ විදියටම අඳින අයට හිතන්න..
තමන් ඉන්න තැන බලාගන්න හොඳ තැනක්...

කැමරාව දකින්නෙ තනි ඇහෙන්.
මිනිසා දකින්නෙ ඇස් දෙකෙන්...


ඇස් දෙකෙන් අපට පෙනෙන්නෙ රූප දෙකක්.
අපි ඒ රූප දෙක මිශ්‍ර කරලා
තනි ත්‍රිමාණ රුවක් දකිනවා.
කැමරාවට ඒක කරන්න බෑ.
ත්‍රමාණ චිත්‍රපටි හදන අය
කැමරා දෙකක් උපයෝගී කරගෙන.
ඒ තාක්ෂණය භාවිතා කරනවා...


ඡායාරූපයක් අඳින කෙනාට ලැබෙන්නෙ
තනි ඇසෙන් දැකපු පැතලි රුවක්.
අසංකගෙ චිත්‍රයට එහා පැත්තෙන්
අසංකගෙ පියා දිහා බැලුවාම
කැමරාවෙන් දැකපු පැතලි රුව
අපට දකින්න පුලුවන්.
අසංකගෙ චිත්‍රයෙ තියෙන්නෙ
මිනිස් ඇසෙන් දුටු ත්‍රිමාණ රුව.
ඒ එක සාධකයක්.

අනිත් සාධකය එළිය සහ අඳුර.

මේ කැමරාවටත්
අසංකගෙ ඇසටත් ලැබෙන්නෙ
මේ අවස්ථාවෙ පියාගෙ මුහුණෙන්
පරාවර්තනය වෙන එකම ආලෝක කිරණ.
ප්‍රතිඵල දෙක කොතරම් වෙනස්ද?


අසංකට පෙනෙන වර්ණ කැමරාවට පෙනෙන්නෙ නෑ.
කැමරාව දකින්නෙ එළිය අඳුර විදියට.
කැමරාවට ත්‍රිමාණ දැක්මක් නැති නිසා
එලිය අඳුරෙන් ගැඹුර පෙන්වනවා.
මිනිස් ඇසට පෙනෙන හැඩතල
කැමරාවට පෙනෙන්නෙ නෑ...

චිත්‍ර ශිල්පියා දකින්නෙත් පෙන්වන්නෙ
එලිය අඳුර නොවෙයි...
ඔහු දකින්නෙ එක එක තලවල තියන
එකක වර්ණ වල රටාවයි..

තමන්ට අවශ්‍ය විදියට
අවශ්‍ය තැනට ආලෝකය දෙන්න
චිත්‍ර ශිල්පියාට පුලුවන්.

අසංකගෙ චිත්‍රයේ කණ ප්‍රදේශයට
වෙනම ආලෝකයක් ඔහු පතිත කරලා...
කැමරාවට ඒක කරන්න බෑ.
දක්ෂ ඡායාරූප ශිල්පීන් මේ වෙලාවට
ඒ ප්‍රදේශයට විතරක් වැටෙන්න
ප්‍රමානවත් දුර්වල ආලෝක කදම්බයක්
වෙනම පතිත කරනවා.
ඒ වෙලාවට ඒ ඡායාරූප ශිල්පියා හිතන්නෙ
චිත්‍ර ශිල්පියෙක් හිතන විදියටයි.
ඔහු පින්සල අතට ගත්තොත්
චිත්‍රත් හොඳට අඳින්න පුලුවන්.

ඡායාරූප ශිල්පීන්ගෙ ආලෝකකරණය
චිත්‍රශිල්පීන් විසින් හැදෑරිය යුතු
ඉතා ප්‍රයෝජනවත් ක්ෂේත්‍රයක්.

Franco Ziparellyගෙ
Jesus of Nazareth ටෙලි චිත්‍රපටයේ
එක දර්ශනයක
දොරක හෙවනැල්ල වැටෙන තැනක
මැටි බඳුන් රාක්කයක් තියනවා.
ඒ රාක්කයෙ උඩම තට්ටුවෙ මැටි බඳුන්
පෙන්වන්න ඔහුට අවශ්‍ය වුණාම
ඔහු කළේ බඳුන්වලට පිටුපස
බිත්තිය ආලෝකවත් කිරීමයි.
ඒ රූපය පැතළියි. මතුවීම ගාණකට...
ඒ අධ්‍යක්ෂකවරයා එක කාලයක
වේදිකා අලංකරණ ශිල්පියෙක්.
ඒ අත්දැකීම මෙතනදි වැදගත්වුණා.

Jesus of Nazareth ටෙලි චිත්‍රපටයෙන්
මෙහි දැක්වෙන්නෙ වෙනත් අවස්ථාවක්.

ජේසුට පිටුපසින් ඉන්න මිනිසුන් මතු වෙන්න
දැලක් වැනි ආවරණය මතට
ඔහු විශේෂ ආලෝකයක් දීලා.
ජේසුගෙ හිසට පිටුපසින් වැටෙන
විශේෂ ආලෝකයත් එවැන්නක්.

කැමරාවත් මිනිස් ඇසත් අතර පරතරය
පියවන්නෙ දක්ෂ ඡායාරූප ශිල්පීන්.
ඔවුන්ගේ චිත්‍රවල තියන ලක්ෂණ
හොඳ චිත්‍රවලට සමානයි.
බලාගෙන අඳිනවා නම්
කෙනෙක් තෝරාගත යුත්තෙ
එවැනි විශිෂ්ඨ ඡායාරූපයක්.

ඡායාරූප ශිල්පියා හිස් මනසක් තියන
කැමරා තාක්ෂණයට යටත් කෙනෙක් නම්
ඔහුගෙ ඡායාරූප දුර්වලයි..
ඔහු ඇස්දෙකෙන් දකින දේ
තනි ඇසෙන් ඡායාරූප ගත කරලා
මුළාවට පත් වෙනවා..
මේ දුර්වල ඡායාරූප භාවිතා කරලා
ඡායාරූපය වගේම චිත්‍ර ඇඳීමත්
ඒ වගේම දුර්වල අවස්ථාවක්.

ඡායාරූපයකින් ඇන්දත්
තෝරා ගන්න ඡායාරූපයෙන්
ඒ ශිල්පියා අඳින චිත්‍රයෙන්
ශිල්පියාගෙ ශක්‍යතාවය පෙනෙනවා.

කැමරාව, පෑන් පැන්සල් පින්සල්... මේ ඔක්කොම
අප්‍රාණික මෙවලම් විතරයි.
දක්ෂකම තියෙන්නෙ ශිල්පියාගෙ ආත්මයේ.
චිත්‍රය වගේම ඡායාරූපයත්
ආත්ම ප්‍රකාශනයක්.

 

 මේ අපූරු චිත්‍රය...අසංකගෙ.

No comments:

Post a Comment